Tuesday 28 August 2012

මාදු ගඟේ අසිරිය සංචාරකයන්ට අත් විඳින්නට වරම් ලබාදෙන ගඟ බඩ අසිරිය සංචාරක හෝටලය

ගඟ බඩ අසිරිය නිවාඩු නිකේතනය සහ
කැප්ටන් බෝට්ටු සේවාවේ අධිපති 
චන්දන  ප්‍රදීප් 

ජෛව විවිධත්වයකින් හා සුන්දරත්වයකින් යුතු බලපිටිය මාදු ගඟ දකුණු ආසියාවේ තුන්වැනි රම්සා තෙත්බිම ලෙස ප්‍රකටය. ඈත අතීතයේදී මාදු ගඟ දූපත් 64කින් ස්පර්ශය ලබා ඇතත් මේ වන විට දූපත් 44කට සීමා වී තිබේ.
කොත්දූව, මාදුව, මුවන්ගේ දුව, නයිදූව, සත පහේ දූව, ගෝනදූව, මිරල දූව, අප්පල දූව, ගල්මන්දුව, මඩ දුව ආදි දූපත් වඩාත් සුන්දරත්වයට පත්ව ඇත්තේ මාදු ගඟේ තිබෙන ස්වභාව සෞන්දර්යය නිසාමය.
ලොව දක්නට නොලැබෙන දුර්ලභ ඝණයේ කඩොලාන වර්ග, සංචාරක කුරුළු විශේෂ, සමනල වර්ග, ක්‍ෂීරපායින්, විසිතුරු මසුන් වර්ග, උභයජීවීන් ආදීන් ගෙන් පිරී ගිය සුන්දර මාදු නදිය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව මගින් අභය භූමියක් ලෙස නම් කර ඇත.


ගඟබඩ අසිරිය සංචාරක හෝටලයේ පිවිසු
මාදු ගඟේ සුන්දරත්වයෙන් මුසපත් වන දෙස් විදෙස් සංචාරකයන්ට එහි සුන්දරත්වය රිසිසේ අත් විඳින්නට අවස්ථාව උදා කර දෙන්නේ බලපිටිය කැප්ටන් බෝට්ටු සේවයේ අධිපති සහ ගඟබඩ අසිරිය සංචාරක හෝටලයේ හිමිකරු චන්දන ප්‍රදීප් මහතායි.

ගාලු කොළඹ මහා මාර්ගය ඔස්සේ පැමිණෙන විට බලපිටිය මහ පාලම අසල කැප්ටන් බෝට්හවුස් නමින් ඉදි කළ මහා තොරණින් ඇතුළු වන විට ප්‍රතාපවත් පෙනුමකින් හෙබි නාවික ඇදුමකට සමාන ඇදුම් කට්ටලයකින් සැරසී විශාල උඩු රැවුලක් සහිත තේජාන්විත පුද්ගලයෙකු අහිංසක සිනාවෙන් ඔබ පිළිගනු ලබයි.

මාදු ගඟේ පාවෙන අවන්හල

 මාදු ගඟේ සුන්දරත්වය රිසිසේ නරඹන්නට හැකි ආරක්ෂිත සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කරන ලද්දේ ඔබ ආගන්තුක සත්කාරයෙන් පිළිගනු ලබන චන්දන ප්‍රදීප් මහතාය. ඉතා කටුක මාවතක් ඔස්සේ පැමිණි ප්‍රදීප් චන්දන මහතා මේ වන විට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන දෙකක හිමිකරුවෙකි.

දුපත් ගැන තොරතුරු ඇතුලත් පුස්තකාලය
මාදු ගඟ නිසා සංචාරක කර්මාන්තයට යොමුවූ අයුරු ප්‍රදීප් චන්දන මහතා මෙසේ විස්තර කළේය. මම 1966 ජනවාරි 13 දින මාතර ප්‍රදේශයේදී උපත ලැබුවා. මට සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියක් සිටිනවා. ජී. සතුංග සිල්වා සහ ලතා අබේසුන්දර දෙමාපියන් දෙපළ ඉතා දුක් මහන්සි වී අපි හය දෙනාට හොඳ අධාපනයක් ලබා දුන්නා.

 කැප්ටන් බෝට් සර්විස් පිවිසුම
මම මූලික අධ්‍යාපනය බලපිටිය සිද්ධාර්ථ ෂජහලෙන් ලබාගෙන මාතර රාහුල විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදු කළා. මම පාසල් කාලයේදී පිහිනුම්, චෙස්, වොලිබෝල්, බැඩ්මින්ටන් ආදි ක්‍රීඩා ඉසව් වලින් පාසලට ජයග්‍රහණ ගෙනත් දුන්නා.

පාසල් ජීවිතයෙන් සමුගත් පසුව බයිසිකල් රේස් පදින්න ආශාවක් ඇති වුණා. ඒ කාලේ මගේ දෙමාපියන්ට එතරම් මුදල් තිබුණේ නෑ. ආශාවට ගෙදර තිබුණ බයිසිකලයෙන් අවුරුදු උත්සවවල පාපැදි තරග වලට ඉදිරිපත් වී ප්‍රථම ස්ථාන රැසක් ලබා ගත්තා. එදා ප්‍රසිද්ධ බයිසිකල් සවාරියක් වන ගාලු සවාරිය පැදලා ප්‍රථම ස්ථානය ද හිමි කර ගත්තා.

අවුරුදු 24 දී විදේශ රටක නෞකාවක නාවිකයෙකු ලෙස සේවය කරන්න ලැබුණා. අවුරුදු 12 ක් නාවික ක්‍ෂේත්‍රයේ විවිධ අංශවල තනතුරු දරමින් සේවය කළා. නාවික ජීවිතයේදී රටවල් ගණනාවක සංචාරය කිරීමටද හැකි වුණා. එම රටවල සංචාරය කිරීමේදී සංචාරක ක්‍ෂේත්‍රය පිළිබඳ දැනීමක් ලබා ගත්තා.

1998 නාවික රැකියාවෙන් ඉවත්වී චන්දන සිය ව්‍යාපාරයක් ආරම්භ කරන්න කල්පනා කරමින් සිටි අවදියේ කුඩා කල සිට ඇසුරු කළ නලින් ඉන්දික නම් මිතුරකු සමග මාදු ගඟේ බෝට්ටුවෙන් යද්දි ග්‍රීසියේ දුපත් ප්‍රදේශයකදී ලද සෞන්දර්යාත්මක අත්දැකීම් ඔහුට සිහිපත්ව තිබේ.

එම මතකයත් සමගම දෙස් විදෙස් සංචාරක ගත සිත බැඳ තබා ගන්නට මාදු ගඟේ දූපත් අවට අසිරිය ඉහළින්ම සමත් වෙනවාට කිසිම සැකයක් නැති බව පසක් කරගත් ඔහුගේ සිතේ සංචාරක ව්‍යාපාරයක් ගැන මුල්ම බීජය හටගෙන ඇත්තේ එදාය. ළඟ තිබුණු මුදල් ටිකෙන් බලපිටිය මහ පාලම අසලින් අඩි 20ක් පළල අඩි 60ක් දිගකුඩා බිම් කඩක් මිලට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

මූලිකව මාදු ගඟ පිළිබඳ සම්පූර්ණ දැනීමක් පොත පතින් සහ මාදු ගඟ සම්බන්ධ අවබෝධයක් තිබු වැඩිහිටියන්ගෙන්ද ඔහු ලබා ගෙන තිබේ. මුලින්ම බෝට්ටු හතරකින් ඔහු සංචාරක බෝට්ටු සේවාව ආරම්භ කළ අවදියේ සිටියේ සේවකයන් හතර දෙනෙකි.

සිය ව්‍යාපාරයේ සාර්ථකත්වය උදා කර ගත් ආකාරය විස්තර කළ චන්දන මහතා මුල් කාලයේ සංචාරකයන් ගෙන්න ගන්න විශාල කැපවීමක් කළා. සංචාරක ආයතනවලට ගිහින් දැනුවත් කළා. ගාලු පාර ළඟට වෙලා මාදු ගෙඟ් යන්න කතා කළා. මේ ආකාරයට දැනුවත් කිරීමත් සමග දේශීය විදේශීය සංචාරකයන් ඇදී එන්න පටන් ගත්තා.

මේ වන විට සංචාරක බෝට්ටු 40ක් පමණ තියෙනවා. පැමිණෙන දේශීය විදේශීය හැම සංචාරයෙකුටම මාදු ගඟේ නැරඹීමට සුන්දර ස්ථාන, කඩොලාන පද්ධතිය, මත්ස්‍ය වර්ග පිළිබදව, කුරුළු වර්ග, උභය ජීවීන්, දුපත් ආශ්‍රිත කර්මාන්ත ආදි සියල්ල පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරනවා.

ඒ වගේම දේශීය විදේශීය හැම සංචාරකයෙකුටම බෝට්ටු සංචාරයේදී ආරක්ෂක කබා ලබාදීමත් සංචාරයේදී සුන්දර නදියේ පරිසරයට කිසිදු හානියක් සිදු නොකරන ලෙසත් උපදෙස් දෙනවා. පැමිණි දේශීය හා විදේශීය සංචාරකයන් මාදු ගඟේ සුන්දරත්වය අනෙක් සංචාරකයන්ට දැනුවත් කිරීම නිසා විශාල සංචාරකයින් පිරිසක් මාදු ගඟ නැරඹීමට දිනපතා පැමිණෙනවා.

පැමිණෙන හැම සංචාරකයෙකුටම අවශ්‍ය ආහාර ඕනෑම වෙලාවක කැමති ආකාරයට ලබා ගැනීමට ගඟ බඩ වලව්ව නමින් හෝටලයක් කැප්ටන් බෝට් හවුස් ආයතනය ආසන්නයේම ඉදි කර තිබෙනවා. එම හෝටලයේ පාවෙන අවන්හල්, පිහිනුම් තටාකයක්, නවාතැන් ගැනීමට කාමර, විවේක ස්ථාන ආදි පහසුකම් රැසක් තිබෙනවා.

මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට මගේ බිරිඳ චම්පිකා වසන්ති ද සොයිසා විශාල සහයක් ලබා දෙනවා. මේ වන විට හතළිහක් පමණ සේවක පිරිසක් මා ළඟ සේවය කරනවා. ඒ සියලු දෙනා ඉතා සතුටින් සේවය කරන්නේ මේ සියලු දෙනා භාෂා දෙකම දැනුම ලබාදී තිබෙනවා. මේ රැකියාවන්ට අමතරව මාදු ගඟ ආශ්‍රිත ජනතාවත් අපේ සංචාරක බෝට්ටු සේවාව නිසා විශාල ආදායමක් උපයා ගන්නවා.

සංචාරක බෝට්ටු කර්මාන්තයේදී ගෙඟ් පරිසරයට හානියක් නොඑන විධියට සංචාරක බෝට්ටු සේවාව පවත්වා ගෙන යන්නේ. අපි මසකට වරක් සංචාරකයන් ගඟේ දමන අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ පිළිබඳ දැනුවත් කර පුවරු සවි කර තිබෙනවා.

ගඟේ පරිසරය ආරක්ෂා වුණොත් පමණයි අපගේ සංචාරක බෝට්ටු සේවාව සිදු කරන්න පුළුවන් වන්නේ. මාදු ගඟේ සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කර ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය.

දිලිප් නිශ්ශංක

No comments:

Post a Comment